2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

ඉන්දු ලංකා පිහිනුම් වාර්තාව අලුත් කළ මාතර රොෂාන්

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

දකුණු ලකේ (මාතර) තලල්ල සුන්දර ගම්මානයේ මහා සාගරය සමීපයේ උපත ලද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර ශ්‍රී ලංකා පිහිනුම් ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඔහු ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිට කිලෝමීටර් 59යි. මීටර් 300ක දුරින් පිහිටි ඉන්දීය මුහුදු සීමාවේ දනුෂ් කොඩිය දක්වා පිහිනා එම නව ශ්‍රී ලංකා වාර්තාව තැබීය.

වයස අවුරැදු 14දී මාතර පොල්හේන මුහුදු තීරයේදී මුහුදේ පිහිනීමට ගිය රොෂාන් මාතර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්විය.

දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ පිහිනුම් උපදේශකවරයකු ලෙස සේවය කරන රොෂාන් අබේසුන්දර දෙදරු පියෙකි.

මාතර තලල්ලේ නන්දසේන අබේසුන්දර හා ශ්‍රියානි සායක්කාර යුවළගේ පුතණුවෙකු වන රොෂාන් කුඩා කළ සිට දකුණු වෙරළේ මුහුදු රැල්ල පාගමින් ලබාගත් අභාෂය තුළින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කර දෙන්නට තරම් දිරිය පුතෙකු ලෙස සමාජයට එක්වනු ඇතැයි ඔහුගේ දෙමව්පියන් නොසිතන්නට ඇත.

කුමාර් ආනන්දන් නම් පිහිනුම් ශූරයා කිලෝමීටර් 52ක් මහ සයුරේ පිහිනා තැබූ වාර්තාව බිඳහෙළමින් කිලෝමීටර් 59යි මීටර් 300ක් මහ සයුරේ දියරැළි සමග පොර බදිමින් ශ්‍රී ලංකාවට ලබාදුන් කීර්තිය “රූප සුන්දරියන් හා ක්‍රිකට් ශූරයන් ලබාදුන් ගෞරවයට දෙවෙනි නොවනු ඇත.”

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු ලෙස සේවය කරන රොෂාන්ගේ අරමුණ වී ඇත්තේ බංග්ලාදේශය හා මාලදිවයින් මුහුදු සීමාව තරණය කර පිහිනා ශ්‍රී ලංකාවට ගෞරවයක් ඇතිකරදීම බව අප හා ප්‍රකාශ කළේය.

පසුගිය අප්‍රේල් මස 10 වන දින අලුයම 2.00ට මන්නාරම ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට ඉන්දියාවේ දනුෂ්කොඩිය මුහුදු සීමාව දක්වා පැය 28යි විනාඩි 19ක් පිහිනා ලෝක වාර්තාවක් තැබූ රොෂාන්ට ඉන්දීය රජයේ වෙරළාරක්ෂක නිලධාරීන් ලබාදුන් සහාය රොෂාන් කෘතවේදීව සිහිපත් කළේය.

තමන් ඉන්දීය මුහුදු සීමාවට ආසන්න වෙද්දී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් ඉන්දීය නැවක්ද ආසන්නයට එවා තමන්ට අවශ්‍ය සහාය ලබාදුන් බව නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් තමන් අත්දුටු සිද්ධීන් පිළිබඳව පැහැදිලි කළ රොෂාන් අප හා මෙසේ පැවසීය.

“මම පිහිනාගෙන ඉන්දියාව දෙසට යද්දී මුහුදේ ජෙලි ෆිෂ් සත්වයාගෙන් යම් යම් බාධා එල්ල වුණා. මම ඉන්දීය මුහුදු සීමාවේ දනුෂ්කොඩිය ආසන්නයේදී මුහුදේ සැඩ පහරකටත් හසුවූවා. ඒ වගේම කිවයුතු විශේෂ කරුණක් තමයි ඩොල්ෆින් මාළු රංචුවක් මගේ පසු පසින් පැමිණීම.

මම මුහුදේ කිලෝමීටර් 05ක දුරක් පිහිනා යද්දී මට තරග කොන්දේසි අනුව ලැබුණේ විනාඩි 05ක සුළු විවේක කාලයක්. එම විවේකය අවස්ථාවේදී මුහුද මැදදීම රිටක දැවටූ (අඩි 04ක පමණ) කෙසෙල් ගෙඩි චීස් පළතුරු වැනි ආහාර ද්‍රව්‍ය ලබාදුන්නා.

මුහුදේ පිහිනා යද්දී මට කිසිදු මුහුදු ජීවියකුගෙන් හානියක් සිදුනොවීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මාතර පොල්හේන මුහුදේ පිහිනාපු මට ඕනෑම මුහුදක පිහිනීමේ හැකියාවක් තිබෙනවා.

මහා සාගරයට කැළිකසළ ප්ලාස්ටික් හා පොලිතීන් මුදාහැරීම වළක්වාලීම සඳහා රටත් ජනතාවත් රටත් ජනතාවත් සමස්ත ලෝකවාසීන්වත් දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම කාර්යයේ යෙදුණු බව රොෂාන් අබේසුන්දර මහතා ප්‍රකාශ කළේය. “ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාත් දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති (ශ්‍රී ලංකා පො.ජ.පෙ.) අකිල මහතාත් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩා භාර මාණ්ඩලික ප්‍රධානී ගුවන් කොමදෝරු එස්.එම්. ප්‍රනාන්දුපුල්ලේ, බලඝන නායක දිසානායක යන මහත්වරුන් මට සුවිශාල වූ සහායක් ලබාදුන්නා.

විශේෂයෙන් සිහිපත් කළයුතු වන්නේ මට අනුග්‍රහය දැක්වූ ඇව්රෝ ලංකා ආයතනයේ සභාපති වෛද්‍ය විරංජන් තාඹුගල මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගොඩබිම ආරක්ෂක අංශයේ නිලධාරීන්, මාතර මගේ පවුලේ ඥාතීන්, මාතර ජනතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මගේ සහෝදරයන් මගේ ආදරණීය බිරිඳ මනෝජි විජේරත්න මහත්මිය ප්‍රමුඛ ආණමඩුවේ මගේ ඥාතීන් මාතර තලල්ලේ මගේ ඥාතීන් මට ලබාදුන් සහාය මම ඉතා අගේ කොට සළකනවා.” ඔහු වැඩිදුරටත් කීය.

දකුණේ මුහුදු තීරයෙන් ලැබූ පිහිනුම් අත්දැකීම් තුළින් ජාත්‍යන්තරය දිනාගත් මාතර තලල්ලේ රොෂාන් අබේසුන්දර මහතා ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් ජාත්‍යන්තරය තුළ කීර්තියට පත්කළ රුහුණු පුත්‍රයෙකු ලෙස සමුද්‍ර ඉතිහාස පොතේ සටහන් වනු ඇත. අලුයම 2.00ට මන්නාරම් මුහුදු තීරයෙන් පිහිනුම් වාර්තාව අභියෝගයට ලක්කල දකුණේ තලල්ල ගම්මානයෙන් බිහිවූ රොෂාන් අබේසුන්දර නම්වූ ගුවන් භටයා ශ්‍රී ලංකා සමුද්‍ර ඉතිහාසයට එක්කළ මෙම විශිෂ්ඨ වාර්තාව ශ්‍රී ලාංකිකයන්ට අභිමානයක් වනු ඇත.

අවසාන වශයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා ප්‍රකාශ කළේ තමන්ගේ අපේක්ෂාව තමන් පිහිටුවන ලද පිහිනුම් වාර්තාව ඉදිරියේදී යළිත් බිඳහෙළමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්පත් කරදීම බවය. විවිධ තරගාවලි ඔස්සේ ශ්‍රී ලංකාවට අගෞරවයක් අපකීර්තියක් ගෙනදුන් ශ්‍රී ලාංකිකයන්ට අභියෝගයක් වූ මහසයුරේ පිහිනුම් වාර්තා බිඳ දැමූ මාතර තලල්ලේ පුංචි කොලුගැටයා ගැන මෙම සටහන තැබුවේ ඔහුගේ විශිෂ්ට මෙහෙවරට හරසර පිණිසය.

 ජේ.ඒ.එල්. ජයසිංහ

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03